Breaking News

යොවුන් කොඩි දිනයේ පළමු කොඩිය ජනපතිට පැළඳවයි | EW Media

ජූලි 26 වන දිනට යෙදෙන ජාතික යොවුන් දිනයට සමගාමීව ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන යොවුන් කොඩි දින වැඩසටහනේ පළමු කොඩිය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කෙරුණා.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගගේ මැතිතුමා විසින් යොවුන් දින සැමරුම් පළමු කොඩිය ජනාධිපතිතුමා වෙත මෙහිදී පළදවනු ලැබුවා. ජගත් තරුණ වර්ෂය වශයෙන් නම් කොට තිබූ 1985 වසරේදී ජාතික යොවුන් කොඩි දිනය පළමු වරට ප්‍රකාශයට පත්කර තිබෙනවා. 2011 සිට 2015 දක්වා එය ක්‍රියාත්මක නොවූ අතර නැවත වත්මන් රජය යටතේ 2016 වසරේ සිට ජාතික යොවුන් දින සැමරුම් වැඩසටහන් ක්‍රියාවට නැංවිණි. ඒ අනුව මෙවර යොවුන් කොඩි දිනය ක්‍රියාත්මක වන්නේ 28 වන වරටය.

දිවයින පුරා පිහිටුවා ඇති යෞවන සමාජ 13,000ක, යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල 334 ක හා යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල 26 ක සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් දිවයින පුරා මෙම කොඩි වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. තරුණ සංවර්ධනය වෙනුවෙන් අරමුදල් රැස්කිරීම මෙහි අරමුණ වන අතර යෞවන සමාජ විසින් හඳුනාගත් සුදුසු ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ඒ යටතේ ක්‍රියාත්මක කෙරේ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් උපුල් සඳරුවන්, භාණ්ඩාගාරික රදික ජයලත්,පරිපාලන ලේකම් සහ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී මහේෂ් තිලකරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියා. මේ එහි දසුන් කිහිපයක්.
 



Pix By : President Media
Dinesh Fernando @ EW Media

No comments:

Powered by Blogger.